පාසැල් යන දරුවන් සිටින දෙමාපියන් වෙත

මෙම ඉරුදිනය නව වසරේ ප්‍රථම දහම් පාසැල් දිනයයි; සිංහල, සංගීත, සහ නැටුම් පන්ති දිනයයි. ඔබ බොහෝ දෙනෙක් දහම් පාසලේ  මෙන්ම අනිකුත් පන්ති වල ද වටිනාකම අවබෝධ කරගෙන ඇති බවට කිසිම සැකයක් නැත. මෙම කෙටි පණිවිඩය ලිවීමේ පරමාර්ථය නම් ඔබගේ එම අවබෝධය තව දුරටත් උද්ධීපනය කිරීමයි.

දහම් පාසැලට ඔබගේ දරුවෝ සහභාගී විය යුත්තේ එසේ සහභාගී නොවන සැම දරුවෙක් ම නොමග යන නිසායැයි අපි නොකියමු. දහම් පාසල් නොයන විශාල ප්‍රතිශතයක දරුවෝ ද හොදින් ඉගෙන ගනිති; හොද අධ්‍යාපනයක් ලබා, අනාගතය තහවුරු කරගනිති; නරක පුරුදු වලට ඇබ්බැහි නොවෙමින් ජිවත් වෙති.

එසේනම්, දරුවෝ දහම් පාසල් යා යුත්තේ ඇයි? ඔවුහු අප සංස්කෘතිය හැදෑරිය යුත්තේ අයි?

බොදු පරිසරයක හැදුනු වැඩුනු අපි බුදුදහමින් ලැබුණු අභාසය බෙහෙවින් ම අගය කරමු; එම අභාසය  තුලින් ගුණධර්ම සම්භාරයක් ජිවිතයට සමීප කරගැනීමට හැකි බව අපි තරයේ ම විශ්වාස කරමු. එම ගුණධර්ම තුළින් ජීවිතය මැනවින් අර්ථවත් වන බව අපි හොදින් දනිමු.

දහම්පාසල් යන සහ නොයන ළමයින් අතර ඇති වෙනස එයයි.  දහම් පාසල් යන දරුවෝ  යුතුකම් සහ වගකීම් මැනවින් දනිති; ඒවා පිළිපදිති. යම් දිනයක වැඩිහිටියන් වන ඔවුහු, ඔබ අද කරන්නක් මෙන් යුතුකම් වගකීම් ඉටු කරති; ඔබ සමග ගෞරව පෙරදැරි කරගත් දුදරු-දෙමාපිය සබදතාවයක් පවත්වාගෙන යති.

දහම් පාසල් නොයන දරුවෝ බොහෝවිට මෙරට ජනප්‍රිය සංස්කෘතියෙන් පෝෂණය වෙති. එම සංස්කෘතිය තුල බොහෝ නුසුදුසු තැන් මෙන්ම හිස්තැන් ද ඇති බව අපි දනිමු. බුදුදහමේ සහ අප සංස්කෘතියේ පෝෂණයෙන් එම නුසුදුසු ස්ථාන සුදුසු කරගැනීමටත්, හිස්තැන් මැනවින් පුරවාගැනීමත් ඔබ දරුවන්ට හැකියාව ලැබෙනු ඇත.

අදාල උදාහරණ පසුගිය  අවුරුදු 28 ක්  තුල විහාරස්ථානයේ පැවැත්ම තුල රැදී තිබේ. අඛණ්ඩව දහම් අධ්‍යාපනය ලැබූ දරුවන් දෙමාපියන් සමග රැදී, බැදී සිටිති; ආගමික සහ  සංස්කෘතික වශයෙන් බෙහෙවින් පෝෂණය වී සිටිති. එය දෙමාපියන්ට අඩම්බර වීමට හේතුවකි.

වඩාත් වැදගත් වන්නේ දරුවෝ අඛණ්ඩව, දිගුකලක් දහම් සහ සංස්කෘතික අධ්‍යාපනය ලබමින් පන්ති වලට සහභාගී වීමයි. අවාරයට අඹ වැටෙන්නාක්  මෙන්  දරුවන් පන්ති වලට සහභාගී කරවීමෙන් ඵලක් නැත. නිසි ඵල නොඅඩුව ලබාගැනීමට නම්, දරුවෝ වසර කිහිපයක් ම අඛණ්ඩ දහම් සහ සංස්කෘතික අධ්‍යාපනයක් ලැබිය යුතුය.

එම ආකාරයට දරුවන් පන්ති වලට සහභාගී කරවීම දෙමාපියන්ගේ පරම යුතුකමක් ලෙස අපි දකිමු.